Saturday, April 30, 2016

කාන්තාවක වී උපත ලබන්නේ පෙර සංසාරේ අකුසල කර්මයක් නිසාද?

බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුතුමාගේ නිවසට දවසක් වැඩම කළහ. ඒ අවස්ථාවේ නිවස ඇතුළින් වෙනදාට නොමැති හඬක් ඇසෙන්නට විය. එම නිසා බුදුහු ඒ හඬ කිමෙක් දැයි විමසූහ. ඒ අවස්ථාවේ අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ තම නිවසේ පසුගිය දිනවල සිදුවූ අලුත් සිද්ධිය ගැනයි. 
 

02-Page-20-BA
බුදුහාමුදුරුවනේ අපේ පුතාට මනාලියක් කැන්දාගෙන ආවා. ඇගේ නම සුජාතා. ධනවත් නිවසක සැපට හැදුණු කුමාරිකාවක් (අඞ්ඩා අඞ්ඩකුලා) ඇයගේ ගති ගුණ හරි අමුතුයි. තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ. ඇයට හිතෙන එක නිවැරැදි එක හැටියට ගන්නේ. නැන්දම්මා ගැන තැකීමක් නෑ. මාමා ගැන තැකීමක් නෑ. ස්වාමි පුරුෂයා ගැන තැකීමක් නෑ. කතාබහ කිරීමේ සංවරයත් අඩු පාටයි. අලුත් හින්දද දන්නෙත් නෑ. ලොකු පවුලක කෙනෙක් නිසාද කියන්නත් බෑ. බුදුහාමුදුරුවනේයි හිතේ තිබුණු අපිළිවෙළ බව හන්දාම අනේ පිඬු සිටුතුමා එක දිගට කියාගෙන කියාගෙන ගියා. ඒ අවස්ථාවේ සිටුවරයාගේ මානසික තත්ත්වය තේරුම් අරගත් බුදුරජාණන්වහන්සේගේ ඇතුළේ සිටි සුජාතා නම් වූ අනේ පිඬු සිටුවරයාගේ ලේලිය බුදුරදුන් වෙත ගෙන්වා ගත්තා. එසේ ගෙන්වාගෙන සුජාතාගේ මානසික තත්ත්වය වටහාගෙන උන්වහන්සේ ධර්මය දේශනා කළහ. බුදුරදුන්ගේ දෙසුම් විමසුම් නුවණින් සුජාතා අසාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇයට ගෞරවයක් තිබුණු නිසාත් උන්වහන්සේ කරන පැහැදිලි කිරීම තමන්ට වැටහෙන නිසාත් ඇය ඒවා හොඳින් අසා සිටියාය. බුදුරජාණන් වහන්සේ ස්වාමි භාර්යාවරුන් සත් දෙනෙක් සිටින බව වදාරා ඒ ඒ අයගේ ගතිගුණත් වෙන වෙනම විස්තර කර දුන්හ. ඉන්පසු සුජාතා දුව ඔබ කෙබඳු භාර්යාවක් වීමට ඇලුම් කරන්නෙහිදැයි බුදුරජාණන් වහන්සේ විමසූ විට සුජාතා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට තමන් දාසි භාර්යාවක් ලෙස ස්වාමි පුරුෂයා සමඟ කටයුතු කිරීමට ආසා කරන බවයි. එවිට බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ 1. දාසි භාර්යාව 2. භගිනි භාර්යාව 3. සචී භාර්යාව 4. මාත භාර්යාව ලෙස  තම ස්වාමිපුරුෂයා කෙරෙහි දයාව බව දක්වන තැනැත්තිය මානසික වශයෙන් අභියෝග ජයගැනීමට සමත් නිසාත් අනිකා කෙරෙහි කල්පනා කරන ආකාරය යහපත් නිසාත් වඩාත් බුද්ධිමත් ලෙස කටයුතු කරනු ලබන නිසාත් මරණින් පසු දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන බවයි. 1. වධක භාර්යාව 2. ස්වාමි භාර්යාව 3. චෝර භාර්යාව මානසික අතෘප්තිකර භාවය නිසාත් අකුසල ධර්ම වැඩිදියුණු කර ගන්නා නිසාත් මරණින් පසු අපායේ උත්පත්ති ලබන බවයි.