Sunday, February 15, 2015

බුදු හාමුදුරුවෝ පෙර ආත්මවලදී කරපු අකුසල් මොනවාද?

බුදුවරයකු යනු සියලු කෙලෙස් දුරුකොට යථාවබෝධය ලබාගත් උත්තමයෙකි. සංසාර බැඳීම්වලින් නිදහස් වූ උන්වහන්සේ පවින් වැළකී කුසල් සිත් පුරවමින් පෘථග්ජන මිනිසාටද නිවැරැදි මාවතේ යෑමට මඟ පෙන්වන සේක. දෙව්, බඹුන්, මිනිසුන් මෙන්ම ලෝකවාසී සත්ත්වයාගේද ගෞරවයට පාත්‍ර වන බුදුවරයකුට වුවද කළකම් පල දෙයි. එය බුදුදහමේ සඳහන් වේ.

බුදු හාමුදුරුවෝ පෙර ආත්මවලදී කරපු අකුසල් මොනවාද?
බුදුවරයකු යනු සියලු කෙලෙස් දුරුකොට යථාවබෝධය ලබාගත් උත්තමයෙකි. සංසාර බැඳීම්වලින් නිදහස් වූ උන්වහන්සේ පවින් වැළකී කුසල් සිත් පුරවමින් පෘථග්ජන මිනිසාටද නිවැරැදි මාවතේ යෑමට මඟ පෙන්වන සේක. දෙව්, බඹුන්, මිනිසුන් මෙන්ම ලෝකවාසී සත්ත්වයාගේද ගෞරවයට පාත්‍ර වන බුදුවරයකුට වුවද කළකම් පල දෙයි. එය බුදුදහමේ සඳහන් වේ.

අකුසල කර්මයක ඵල විපාක සසර ගමනේ කුමන අවස්ථාවක ලැබේ දැයි අපි නොදනිමු. එබැවින් පාපයට බිය වන්නැයි තථාගතයාණෝ සිය අනුගාමිකයන්ටද පැවැසූහ. සියලු කෙලෙස් කර්ම ප්‍රහීන කළ බුදුවරයකු රහසින්වත් පව් නොකරන බව අපි දනිමු. එහෙත් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර බෝධිසත්ත්ව ආත්මයන්හිදී සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයකු ලෙස ජීවිකාව ගත කළහ. බෝධිසත්ත්ව අවධියේදී කළ විවිධ අකුසල කර්ම උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ පසුවද පල විපාක ගෙනදුන් අවස්ථා පිළිබඳව බෞද්ධ දර්ශනයේ සඳහන් වේ. බුද්ධත්වයට පත් වුවද තමා විසින් කරන ලද අකුසල කර්මවලින් කිසිවකුටත් අත්මිදිය නොහැකි බව එමඟින් සනාථ වේ.

පෙර ආත්මභාවයන්හිදී යහපත් ක්‍රියා කළ පුද්ගලයාට මේ ආත්මභාවයේදී යහපත් දේ හිමිවේ. ධන ලාභ, මිල මුදල්, ඉඩකඩම් ආදී සැප සම්පත් හිමි වන්නේ පූර්ව භවයන්හිදී කුසල් කළ පුද්ගලයන්ටය. එමෙන්ම අන් සතු දේ සොර මැරකම් කොට ලබාගත් තැනැත්තාට දුගී දිළිඳු ජීවිත ගත කිරීමට සිදුවේ.
අද සමාජයේද විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අසරණ මිනිස්සු විශාල ප්‍රමාණයක් වාසය කරති. ඇතැම් විට ඔවුන්ගේ රෝග තත්ත්ව බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නොවේ. එය පෙර භවයක ඔහු විසින් කරන ලද පවක ප්‍රතිඵලයක් විය හැකිය. වෛද්‍ය විද්‍යාව මඟින් සුව නොවන රෝගවලට විසඳුම් සෙවීමට ඔවුහු ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර වෙති. ඇතැමුන් ඒ හරහා සුව වන අතර ඇතැමුන්ට කිසිදු ක්‍රමයකින් රෝග සුවකර ගැනීමට නොහැකි වන අවස්ථා පවතී. එයට හේතුව ඔවුන් විසින් පෙර ආත්ම භවයකදී කරන ලද පාප කර්මයක් අතිශයින් බලවත් වීම විය හැකිය.
කෙසේ වෙතත් දුගී මගියාගේ සිට සක්විති රජ පදවිය දක්වා පව සහ පින පල දෙයි. ගොනු පස එන රිය සක මෙන් තමා විසින් කරන ලද පව සහ පින තමා පසුපස හඹා එන බව බුදුරජාණන් වහන්සේද දේශනා කර ඇත.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයේ උන්වහන්සේ එක්තරා පිරිසකට ධර්මය දේශනා කරන අතරතුර එක්තරා අභිඥාලාභී සෘෂිවරයෙක් භාවනානුයෝගීව උඩු ගුවනේ ගමන් කරමින් සිටියේය. උන්වහන්සේගේ ධර්මය සවනට වැකුණු සෘෂිවරයාගේ සිතට ධර්මය ශ්‍රවණය කිරීමේ ආසාවක් ආවේය. ඔහු උඩු ගුවනින් බිමට බැස පදුමුත්තර බුදු හිමියන්ගේ ධර්මය ශ්‍රවණය කළේය. එම සෘෂිවරයා පදුමුත්තර බුදු හිමි දෙසු ධර්මය ශ්‍රවණය කළ පුණ්‍ය කර්මය හේතුවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස පනස් එක් වාරයක්ද, මිනිස් ලොව සක්විති රජ ලෙස හැත්තෑ එක් වාරයක්ද, ප්‍රාදේශීය පාලකයකු ලෙස ආත්ම සිය ගණනක්ද උප්පත්තිය ලබා ගෞතම බුදුන්ගේ සමයේ හත් හැවිරිදි වියේදී මහණ වී රහත් බව ලබා ගත්තේය. සුළු මොහොතක් ධර්මය ශ්‍රවණය කළ එම කුසල කර්මය ආත්මභාවයන් රැසකදී එම සෘෂිවරයා සුගතිගාමී තත්ත්වයට රැගෙන ගිය බව එමඟින් මනාව පසක් වේ.

කුසල කර්මයන්හි පල විපාක සේම අකුසල කර්මයන්හි පල විපාකද ඉතාමත් බලගතුය. අප මහා බෝධිසත්ත්වයන් පෙරුම් පිරූ ආත්මභාවයන්හිදී කළ විවිධ අකුසල කර්මවල විපාක ගෞතම බුදුන් ලෙස පහළ වූ ආත්මභාවයෙහි විඳි බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. බුද්ධත්වයට පත්වුවද කලින් කළ අකුසල කර්ම පලදීමෙන් අත්මිදීමට නොහැකි බව එයින් විද්‍යමාන වේ.
සංසාරයේ කළ අකුසල කර්ම බුද්ධත්වයට පත්වීමෙන් පසුවද තමාට පල දුන් බව බුදු හිමියෝ හිමාලය වනයේ අනවතප්ත විල සමීපයේදී භික්‍ෂුන්ට දේශනා කළහ.
තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේද පෙර කළ අකුසල කර්ම හේතුවෙන් බුද්ධත්වය ලැබූ පසුවද ජීවිත කාලයේ බොහෝ අවස්ථාවන්හිදී පල විපාක අත්විඳි බව දක්නට ලැබේ.

සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලැබීමට පෙර වසර හයක් අසීමිත ලෙස දුක් විඳිමින් දුෂ්කර ක්‍රියා කළහ. එසේ දුෂ්කර ක්‍රියා කිරීමට උන්වහන්සේට සිදුවූයේ කාශ්‍යප බුදුන්ගේ සමයේ කළ එක්තරා අකුසල කර්මයක් නිසාය. කාශ්‍යප බුදුහිමි සමයේ එක් ආත්මයක අප බෝධිසත්ත්වයන් ඝටීකාර නමින් උපත ලැබූ අතර ඔහුට ජෝතිපාල නමින් මිතුරෙක් විය. ඝටීකාර දිනක් කාශ්‍යප බුදු හිමියන් බැහැදැකීමට සිය මිතුරාට ඇවිටිලි කළද ඔහු එයට අකැමැති විය. එයින් හටගත් කෝපයෙන් බෝධිසත්ත්වයෝ සිය මිතුරාට පරුෂ වචනයෙන් බැන කෙස් වැටියෙන් අල්ලා කාශ්‍යප හිමි ධර්මය දේශනා කරන ස්ථානයට ඔහු ඇදගෙන ගොස් ධර්ම ශ්‍රවණයට අවස්ථාව සැලැසූහ. ධර්ම ශ්‍රවණය කිරීමේ සිතිවිල්ල යහපත් වුවද හෙතෙම සිය මිතුරාට පරුෂ වචනෙන් බැන වැදීම හා කෙස් වැටියෙන් අල්ලා ඇදගෙන ගොස් හිංසා කිරීම හේතුවෙන් බුද්ධත්වයට පෙරුම් පිරීමේදී එම විපාකය පල දුන්නේය. සිදුහත් තවුසාණන් වසර හයක් එකම ස්ථානයක දුෂ්කරක්‍රියා කළේ එම පවේ ප්‍රතිඵලයක් වශයෙනි.

තවත් එක් භවයක අප මහා බෝධිසත්ත්වයෝ මොනාලි නමැති තරුණයකුව ඉපිද පාපී මිත්‍රයන් ඇසුරෙහි වාසය කළහ. සිය පාපී මිතුරන් හා එක්ව පසේ බුදුවරයකුට චෝදනා කිරීමේ වරදට බෝසතාණෝ ගෞතම නමින් බුද්ධත්වයට පත්වූ පසු සුන්දරී පරිබ්‍රාජිකාවගෙන් චෝදනා ලැබූහ. බුද්ධත්වයට පත් වුවද උන්වහන්සේට එම පාපයෙන් අත්මිදිය නොහැකි විය. තවත් එක් ආත්මභාවයක බෝධි සත්ත්වයන් සංවර භික්‍ෂුවක් අසංවර ලෙස හැසිරෙන බව පවසා උන්වහන්සේට චෝදනා කර ඇත. එම පාපකර්මයේ පල විපාකය වශයෙන් චිංචිමානවිකාව උන්වහන්සේ බුදු වූ පසු චෝදනාවක් එල්ල කළාය.
තෙරක් නොපෙනෙන සංසාර ගමනේ තවත් එක් ආත්මයකදී අප මහා බෝධිසත්ත්වයෝ වන ආරණ්‍යයක ශිෂ්‍යයන්ට ශිල්පශාස්ත්‍රය උගන්වන සෘෂිවරයකුගේ ආරණ්‍යයට සමීපව ජීවත් වූහ. එම සෘෂිවරයාට ශිෂ්‍යයන්ගේ ඥාතීන් කරන පුද සත්කාර දැක ඊර්ෂ්‍යා උපදවා සෘෂිවරයා පිළිබඳ ඥාතීන්ට බොරු කිව්වේ ඔහු අශීලාචාර පහත් හැසිරීම් ඇති අයකු බව පවසමිනි. එම පවෙහි ප්‍රතිවිපාක ලෙස උන්වහන්සේට දේවදත්ත හිමියන්ගේ පීඩාවෙන් මිදීමට නොහැකි විය.

තමා කළ පව් තමා පසුපස හඹා ඒම උන්වහන්සේටද නවතාලිය නොහැකි විය. උන්වහන්සේ බෝසත් අවධියේ සිටුවරයකුට දාව උපත ලැබූහ. ඔහුගේ මෑණියන්ගේ ඇවෑමෙන් පසු පියා තවත් විවාහයක් කර ගත් අතර එම සුළු මවට දාව තවත් පිරිමි දරුවෙක් උපන්නේය. පියාගෙන් තමාට හිමිවන ධනස්කන්ධය හවුලේ බෙදා ගැනීමට තිබූ අකැමැත්ත නිසා ඔහු සිය මලණුවන් රවටා ඔහු පර්වතයකට රැගෙන ගොස් එයින් පහළට තල්ලු කළේය. අස්ථි බිඳෙමින් කන්දෙන් පහළට වැටුණද මලණුවන් මිය නොගිය නිසා නැවතත් කන්දේ සිට කළු ගලක් හිස මතට දමා ඔහුව ඝාතනය කළේය. එහි විපාකය වූයේ බුද්ධත්වයට පත්වූ පසුව දෙව්දත් තෙර විසින් ගලක් පෙරළණු ලැබ බුදුන් වහන්සේ තුවාල ලැබීමයි. පෙර ආත්මයේ සිය සොහොයුරාගේ හිස මතට ගලක් අතහැර ඝාතනය කිරීමේ පාපකර්මය ඉතා බලගතු බැවින් දෙව්දත් තෙර පෙරළුෑ ගලෙහි කැබැල්ලක් උන්වහන්සේගේ පාදයේ වැදී එයින් ලේ වැගිරී ශල්‍යකර්මයක් කිරීමටද සිදුවිය.
රාජ්‍ය පාලකයකු වී උපත ලැබූ බෝධි සත්ත්වයන් සිය කඩුවෙන් කපා මිනිසකු ඝාතනය කළ පාපයට විපාක ලෙස ලේ වැගිරුණ පාදයේ තුවාලය දෙවැනි වරටත් ශල්‍යකර්මයකට බඳුන් කිරීමට සිදු විය.

දිනක් බුදුන් වහන්සේ මාර්ගයේ වැඩම කරමින් සිටියදී රා කළ සොළොසක් පානය කොට මත්වූ නාලාගිරි හස්තිරාජයා බිහිසුණු ලෙස උන්වහන්සේගේ පෙර මඟට දිව ආවේය. එම සිදුවීමද උන්වහන්සේ විසින් පෙර භවයකදී කරන ලද කර්මයක විපාකයකි. එම සිදුවීමට තුඩු දුන් අතීත කතාව මෙසේය. එක් භවයක බෝධිසත්ත්වයෝ ඇත් ගොව්වකුව සිටියදී මාර්ගයේ වැඩම කරමින් සිටි පසේ බුදුවරයකු ඉදිරියට ඇතකු කුපිත කර යැවූහ. සිය සෘද්ධි බලයෙන් අහසට නැඟි පසේ බුදුරජාණන් වහන්සේ වෙනතකට වැඩම කළහ. එම පාපී ක්‍රියාවේ අනිසි ප්‍රතිඵලය වූයේ නාලාගිරි නමැති හස්ති රාජයා උන්වහන්සේ බුදු වූ පසු ප්‍රචණ්ඩ ලෙස ඉදිරියට පැමිණීමයි.
තවත් එක් අවධියක බෝධි සත්ත්වයන් කුඩා දරුවකුව සිටියදී පසේ බුදුවරයෙක් මාවතේ වැඩම කරමින් සිටියේය. එවේලෙහි ඔහුගේ සිතට නැඟුණු පාපී සිතිවිල්ලක් නිසා ගලක් ගෙන පසේ බුදුවරයාට ගසා උන්වහන්සේගේ ලේ සොලවා සතුටු විය. එහි පාපී පලවිපාකය වූයේ වැදි පුත්‍රයන් තිස්දෙනකු උන්වහන්සේ බුදුවී ධ්‍යානගතව සිටින අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමයි.
ධීවර ගම්මානයක ධීවරයන් අතරේ හැදී වැඩුණු තරුණයකුව බෝධිසත්ත්වයෝ එක් ආත්මභාවයක උපන්නහ. ධීවරයෝ ජලාශයට වස යොදා එහි මත්ස්‍යයන් අල්ලා ගොඩ තිබූ බඳුනකට මාළුන් රැස් කළහ. අපහසුතාවෙන් දඟලන මිය යන මත්ස්‍යයන් දෙස බලා ධීවර තරුණයා සතුටු වූ අතර බුද්ධත්වයෙන් පසුවද බුදු හිමියන්ට වරින් වර වැලඳුණු හිසරදය වූයේ එම පාපයේ ප්‍රතිඵලයයි.

ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සමයේද අප මහා බෝධිසත්ත්වයෝ අසත්පුරුෂ මිතුරන් ඇසුරෙහි උපන්නහ. ඵුස්ස බුදු හිමි ප්‍රමුඛ මහා සංඝයා ඇල් හාලින් පිසින ලද බත් වළඳන අයුරු දැක ඊර්ෂ්‍යාව උපදවා ඇල් හාල් බත් නෙවෙයි, යව කාපල්ලා යනුවෙන් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට අපහාස කළේය. එහි පාපකර්මය ලෙස උන්වහන්සේට බුද්ධත්වයෙන් පසුව මාස තුනක් අශ්වයන්ට දෙන යව ඇට වැළඳීමට සිදුවිය.
බෝසත් අවධියේදී මල්ලවපොර ක්‍රීඩාවේ නිරතවන පුද්ගලයකු ලෙසද උපත ලැබූ ඔහු මල්ලවපොරයකදී සිය ප්‍රතිමල්ලවයාට වැරෙන් පහරක් එල්ල කළේය. එයින් ඔහුගේ කොඳු ඇටය බිඳී ගියේය. එහි පාප විපාකය ලෙස උන්වහන්සේට අධික වේදනාවෙන් යුත් කොන්දේ අමාරුවක් හට ගැනිණි.

තවත් එක් ආත්මභාවයකදී උන්වහන්සේ දක්‍ෂ කාර්යශූර වෛද්‍යවරයකු ලෙස උප්පත්තිය ලැබූහ. අධික උදරාබාධයකින් පසුවූ සිටු කුමාරයකු සුවපත් කළ පසු හෙතෙම වෛද්‍යවරයාට රන් කහවණු නොදුන්නේය. එයින් හටගත් කෝපයෙන් කුමාරයාට විෂ බෙහෙතක් දුන්නේය. එයින් ලේ පාචනය සහ වමනය යන රෝග තත්ත්වයෙන් සිටු කුමාරයා මිය ගියේය. එහි ප්‍රතිඵලය වූයේ උන්වහන්සේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වූ පසුවද ලේ වමනය යෑමේ රෝගය වැලඳීමයි.
එසේ ලේ වමනය වැලැඳුණු අවස්ථාවක උන්වහන්සේට වැලඳීමට නොහැකි වන පරිදි අවස්ථා තුනකදී කුකුත්ථකා නදියේ ජලය බොරවූ බව බෞද්ධ සාහිත්‍යයේද සඳහන් වේ. එසේ කුකුත්ථකා නදියේ දිය බොර වීමට බලපා ඇති අතීත කර්ම විපාකය වන්නේ පෙර භවයකදී පිපාසයෙන් පෙළුණු ගව දෙනක වතුර බීමට සැරසුණු ජලාශයේ වතුර බොර කිරීමයි. කෙසේ වෙතත් තථාගතයාණන් වහන්සේට ලේ වමනය යෑමේ රෝගය වැලැඳුණු අවස්ථාවේ කුකුත්ථකා නදියේ දිය බොරවීම නිසා ආනන්ද හිමියන් වැලපෙමින් සත්‍යක්‍රියා කොට එහි ජලය පිරිසුදු කරවා බුදු හිමියන්ට පූජා කොට ඇති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

කළ කම් පලදීම තරාතිරම නොබලා සිදුවේ. යමකු කරන කුසල කර්ම මෙන්ම අකුසල කර්ම නිසා ඔහුට සංසාර ගමනේ කෙදිනක හෝ විපාක විඳීමට සිදුවේ. තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුන් නමින් බුදු වී ලොවක් සුමඟට ගනිමින් වැඩ විසූ මොහොතේ පවා පෙර කළ පම් විපාක විඳීමේ සිදුවීම්වලින්ම පවෙහි ප්‍රතිවිපාක කෙතරම් බලවත්දැයි විද්‍යමාන වේ. එම යථාවාදී දහම අවබෝධ කරගත් බැවින් උන්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙලෙසින් දේශනා කළ බව බෞද්ධ දර්ශනයේ සඳහන් වේ.
'මහණෙනි තමන්ගේ විමුක්තිය තමාමය. ඔබ අකුසල කර්ම කළහොත් ඔබගේ හතුරා වන්නේ ඔබමය. අකුසලයක් සිදු කළ පසු ඔබව විපාකයෙන් ගලවා ගැනීමට කිසිවකුටත් නොහැකිය. එය ඒකාන්තයෙන්ම විපාක ගෙනදේ.'
දහසක් සොඳක් කෙරුවත් හිතකින් කාට
රහසින් පවක් කෙරුවොත් පලදෙයි ඊට
අහසක් වසන සඳ සඟවන්නද රෑට
මහ බඹුනටත් වරදී පව් කළ දාට
මව්බිම .....උපුටා ගැනීමක් .........

No comments:

Post a Comment