Wednesday, November 5, 2014

බුදුහාමුදුරුවොත් නැකැත් ගැන කියා දීලා තියනවා

බුදුහාමුදුරුවොත් නැකැත් ගැන කියා දීලා තියනවා හැබැයි ඒ අද තියන නැකැත් නම් ‍නෙවෙයි

mediaබුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධයන් සඳහා නිර්දේශ කරන ලද වෙනම සුබ නැකැත් වර්ගයක් ඇති බවත් නමුත් ඒවා වර්තමානයේ අප ජන සමාජය ව්‍යවහාර කරන වෛදික නැකැත් නොවන බවත් ගල්ගමුව යූ. බි. වන්නිනායක ජාතික පාස‍ලේ විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියෝ අවධාරණය කරති. මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් කළ වැඩිදුර කරුණු විචාරීමකි.


ජ්‍යොතිෂය මගින් මිනිසාගේ ඉරණම දැන ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි විරෝධයක් බුදු දහමින් එල්ල වී නැති බවක් පැවසෙනවා. එය ඇත්තක්ද ස්වාමීන් වහන්ස, 
සම්පූර්ණ අසත්‍යයක් නියතිවාදයකට හෝ ෙදෙවවාදයකට අනුව ලෝකයේ සහ සත්වයාගේ පැවැත්ම සිදු නොවන බවත්, හුදෙක් හේතුඵල සම්බන්ධය මත එය තහවුරු වන බවත් අවධාරණය කෙරෙන බුදු දහම සිද්ධාන්තමය වශයෙන් ගත් කළ ද නියතිවාදය මත පදනම් වූ ‍ජ්‍යොතිෂය හා ඉඳුරාම ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා බුදු දහමින් ‍ජ්‍යොතීර්වේදයත් මොනම විදිහකින්වත් ගළපන්න බැහැ.
ඒක බුදු බණට අනුව පැහැදිලි කරන්නේ කොහොමද ?
ත්‍රිපිටක සාහිත්‍යයේ එන ගාථා පාඨයක සරල සිංහල අරුත මේකයි. මේක ජාතක පාලියෙහි එන ගාථාවක්. ‘නක්ෂත්‍රය පිළිපදින්නට යාමෙන් බාලයා යහපත පිටු දකින්නේය. නැකත යනු යමකට සුදුසුම වේලාවය. ග්‍රහ තාරුකාවෝ කුමක් කරත්ද?’
නමුත්, ස්වාමීන් වහන්ස නැකැත් බැලීම සම්බන්ධයෙන් මෙවන් අර්ථකථනයක් දෙන බුදු දහම මගින්, ‍ජ්‍යොතිෂයෙන් මිනිසාගේ ඉරණම කීම සම්බන්ධයෙන් යමක් නොපැවසෙන්නේ ඇයි?
ඒකට හේතුව තමයි බුද්ධකාලීන භාරතයේ ‍ජ්‍යොතිෂය මුල් කොට මිනිසාගේ ඉරණම පැවසීමේ ක්‍රමයක් නොතිබිම. මේක බොහෝ දෙනාගේ විස්මයටත්, කුතුහලයටත් හේතු වෙන දෙයක්. නමුත් ඒක තමයි ඇත්ත නමුත් අද ‍ජ්‍යොතිෂ ජාවාරම්කාරයන් මේ සත්‍යය යටපත් කරලා. අසරණයන් ගසා කනවා.
ඒ කියන්නේ බුදුන් දවස අනාවැකි කීමේ ශාස්ත්‍ර තිබි නැද්ද ?
ෙදෙවවාදය හිස් මුදුනින් පිළිගැනුණු බුද්ධකාලීන භාරත සමාජයේ අනාවැකි කීම සම්බන්ධයෙන් විද්‍යා ශාස්ත්‍ර බොහොමයක් තිබුණා. නැත්තේ නැහැ. නමුත් මිනිසාට දෙලොව යහපත සැලසීම සම්බන්ධයෙන් පිටිවහලක් කොටගත නොහැකි එම සියලු විද්‍යා ශාස්ත්‍ර ආර්ය මාර්ගයෙන් අන් දෙසකට යොමුව ඇති බැවින් ඒවා නිරශ්චීන විද්‍යාවන් ලෙස බුදු දහමින් අවධාරණය කරනවා. මෙතන තිරශ්චීන කියන්නේ තිරිසන් කියන එකට ‍නෙවෙයි. පැත්තකට යන නැත්නම් පැත්තකට දැමිය යුතු යන අරුතින් තමයි තිරශ්චීන කියන්නේ.
නමුත් ‍ජ්‍යොතීර්වේදයට බුදුන් දවස භාරතයේ ඉහළම තැනක් හිමි වී තිබූ බව බොහෝ දෙනෙක් පවසනවා. 
ඒ කතාවල කිසිම ඇත්තක් නැහැ. ඒ කොහොමද කියලත් මං කියන්නම්. වේද සාහිත්‍යයට අයත් උපවේද යනු මිනිසාගේ ලෞකික සමෘද්ධිය ළඟා කෙරෙන ධර්ම ශාස්ත්‍ර පද්ධතියක්. උපවේද සාහිත්‍යයේ මූලික වශයෙන් කැපී පේන්නේ ඉපැරණි භාරතීය කායික විද්‍යා සිද්ධාන්ත විවරණය කෙරෙන ආයුර්වේදය. ධනවන්තරී නම් සෘෂිවරයකු විසින් භාෂිත යැයි කියන මූලික ආයුර්වේදයේ ශ්ලෝක ලක්ෂයක් තියනවා. එහෙත් මෙම ‍ජ්‍යොතීර්වේදය මිනිසාගේ ලෞකිකත්වය සශ්‍රිත කෙරෙන එවන් උපවේද යටතට හෝ අයත් වන්නේ නැහැ.
එහෙම නම් ස්වාමීන් වහන්ස වේද සාහිත්‍යයේ ‍ජ්‍යොතිෂයට හිමි තැන මොකක්ද ?
වේදය ක්‍රමානුකූලව හැදෑරීම පිණිස ඉවහල් වන විෂයන් පිළිබඳව පැරණි සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒවාට වේදාංග කියලයි කියන්නේ. ඒවා පිළිවෙළින් ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුත්ති ඡන්දස් සහ ‍ජ්‍යොතිෂය යනුවෙන් හැඳින්වෙනවා. මේ අනුව වේද සාහිත්‍යයෙහි ‍ජ්‍යොතීර්වේදයට ස්ථානය නිවැරදිව හඳුනා ගන්න අපිට පුළුවන්. මූලික ‍ජ්‍යොතීර්වේදය කියන්නේ වේදාංගවලට අයිති පුංචි කොටසක් විතරයි.
අනාවැකි කීමක් සිදුවී නැත්නම් එකල ‍ජ්‍යොතිෂය තිබි ඇත්තේ කුමක් සඳහාද? 
ග්‍රහචාරයෙහි චන්ද්‍ර සූර්ය පිහිටීම පෙන්වාදීම එකල ‍ජ්‍යොතිෂයෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා. නැකත් තරු විසි හත ඔස්සේ අඩසඳ සහ පුන්සඳ දර්ශනය වන විදිහ එහි දැක්වෙනවා. ඒ වගේම ග්‍රහ තරු හැඳින ගන්නා අන්දමත් යාග හෝම සඳහා මණ්ඩප පිළියෙළ කිරීමට සුබ නැකැත් තෝරා ගත යුතු අන්දමත් දැක්වෙන පුරාණ ‍ජ්‍යොතීර්වේදයේ එදිනෙදා ජීවිතයේ සුබ කටයුතු සඳහා නැකැත් තෝරා ගත යුතු ආකාරය ද දක්වා තිබෙනවා. නමුත් බෞද්ධයන් ඒවා ද පිළිපැදිය යුතු නැති බවයි බුදුන් වහන්සේ සෘජුවම දේශනා කොට ඇත්තේ.
ඒ කොහොමද ස්වාමීන් වහන්ස 
ඛුද්දක නිකායේ යුත්ත නිපාතයේ මහා නිද්දේස පාලියේ ඒ සම්බන්ධ බුදු වදනක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම. 
“නැකැත් කියන්නෝ නැකත් දක්වති. නැකැත් විසි අටෙකි. මේ නැකැතින් ගෙට ගෙවදීම කළ යුතුය. මේ නැකැතින් කිරුළු පැළඳීම කළ යුතුය. මේ නැකැතින් ආවාහ විවාහ කළ යුතුය. මේ නැකැතින් බිජ වැපිරීම පැළ සිටුවීම් කළ යුතුය. මේ නැකැතින් සංවාසයේ යෙදිය යුතුය. ආදී වශයෙන් නැකැත් කියන්නෝ නැකැත් දක්වති. එහෙත් තෙරුවන කෙරෙහි අචල විශ්වාසය දරන්නෝ මේවා සේවනය නොකරති.”
ඉහත සඳහන් බුද්ධ භාෂිතයන් මගින් පැහැදිලි වන කරුණු දෙකක් තියනවා. එනම් බුද්ධකාලීන භාරතයේ ‍ජ්‍යොතිෂය මිනිසාගේ ඉරණම පැවසීමට තරම් සවිමත් නොවූ බව හා නක්ෂත්‍රය පදනම් කර ගත් වෛදික නැකැත් පිළිපැදීම පවා බුදුරජාණන් වහන්සේ ඉඳුරාම ප්‍රතික්ෂේප කළ බව, නමුත් යමකුට අර්ථ සිද්ධිය උදාකර ගත හැකි බෞද්ධ සම්ප්‍රදායේ නැකැත් වර්ගයක් ද තියනවා; ඒවා  පිළිබඳ රමණීය විස්තරයක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මංගල වග්ගයෙහි දැක්වෙනවා.
කුමක් ද ස්වාමීන් වහන්ස ඒ විස්තරය ?
මේක හොඳට හිතේ ධාරණය කර ගන්න. 
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තෙරුවන කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවකින් යුතුව සිත කය වදන යන තිදොරින් පිරිසිදුව උදයවරුවක යම් ක්‍රියාවක යෙදෙනවා නම් අන්න ඒක සුබ නැකැතක්. (සුනක්ඛත්තං) සුබ මංගලයක් (සුමංගලං) කියලා ඒ වගේම දවසේ සියලුම වේලාවන් සම්බන්ධයෙන් මේ විදිහටම අවධාරණය කොට දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ හුදෙක් ‍ජ්‍යොතිෂයේ දැක්වෙන වෛදික නැකැත් චාරිත්‍ර පිළිපැදීම 
වෙනුවෙන් ප්‍රඥාවන්ත අර්ථකථනයක් ඉදිරිපත් කොට ඇති බව මනාව පැහැදිලියි. නමුත් අපේ සමාජයේ වැඩි දෙනෙක් කරන්නේ නැකැත් පිළිබඳව බුදු හාමුදුරුවෝ අපට ඉදිරිපත් කළ ප්‍රඥාවන්ත අර්ථ කථනය පැත්තකට දාලා උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කරපු ‍ජ්‍යොතිෂය විශ්වාස කරන එක නේද?

ලක්බිමෙන් ...............

No comments:

Post a Comment