Monday, May 26, 2014

මේ මරණය හැර තවත් මරණ තිබේද..?


මේ මරණය හැර තවත් මරණ තිබේද..?
ගිනිගත් ගෙයකින් නික්‌ම පලා යන්නවුන් මෙන් මේ දුක්‌බර සංසාරයෙන් නික්‌ම පලා යන සත් පුරුෂයෝම සසරේ බියකරු මරණය ඉක්‌මවා ගියෝ නොවේද? එනම් ඔවුන්ගේ ඒ අමානිවන් ගමන බෙහෙවින් මැ සිදු වූයේ ජීවිතය තුළ බියකරු මරණය එක්‌ වරක්‌ තුළ නොව දහස්‌ සුවහස්‌වර සිදුවන්නාවූ විපතක්‌ බව තේරුම් ගැනීමෙනි.
සංසාර ගත සත්වයන්ගේ ජීවිතය තුළ මරණය සිදුවන්නේ එක්‌වරක්‌ පමණෙකැයි ලෝකයා සිතාගෙන සිටින ආකාරයයි. එය සමාජ සම්මුතිය අනුව ඔබ සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන සත්ත්ව හෝ පුද්ගල ජීවිතයේ අවසානයයි. පරවී ගිය මලට කොතෙකුත් පැන් ඉස්‌සද එය යළි කවරදාකවත් නොපිබිදෙන්නාක්‌ මෙන් මරණයට ගොදුරු වූ ජීවිතයද කවර පිළියමකින්වත් කවදාවත් ආයෙත් ජීවිතය ලබන්නේ නැත.
සැබවින්ම ලෝකයා සිතන කල්පනා කරන මේ මරණය හැරුණු කොට ජීවිතයක්‌ තුළ තවත් අප්‍රමාණ මරණ සිදුවන්නේය. එය සසර ජීවිතය තුළ වන්නා වූ නාම රූප දෙක තුළම සිදු වන්නා වූ මරණය නැත්නම් බිඳ වැටීමයි. වරක්‌ ගත් ආහාරයක්‌ තුළින් සත්වයකුගේ රූප කාය තුළ හට ගන්නේ අලුත් රූප කලාපයකි. එය ඒ සත්වයාට මද වේලාවක්‌ යන තෙක්‌ සුඛ වේදනාවක්‌ ලබා දෙයි. එහෙත් ඉන් ඉක්‌බිතිව කාලය මරණයට පත් වෙන විට එම අලුත් සුවදායි රූප කලාපයද දිරාපත් වී මරණයට ගොදුරුවේ. ශරීරය තුළ දුක්‌ වේදනා හට ගන්නේ ඒ නිසාය. මේ ආකාරයෙන්ම ශරීරයේ අයහපත් රූප ඉපදීමෙන්ද සත්වයාට අනන්ත දුක්‌ පීඩාවලට මුහුණ පෑමට සිදු වේ. අයහපත් රූප කලාප හටගන්නේ එතෙක්‌ පැවති යහපත් වූ රූප කලාප මොහොතක්‌ නෑර මරණයට පත් වන නිසාය.


තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයට මඳක්‌ සැදැහැවත් බව පෙරටු වූ සිතින් ගමන් කරන්න. ඒ සම්මා සම්බුදුන් ධරමාන කාලයෙහි විසූ පූතිගත්ත තිස්‌ස තෙරුන් වහන්සේ ඔබට සිහිකළ හැකිද? බියකරු කර්මයේ දුඃත විපාක ලැබෙන තුරු උන්වහන්සේගේ ශරීරයෙහි වු මනාරූප කලාප රැඳී තිබිණි. කර්මයේ විපාක ක්‍රියාත්මක වීමත් සමගම එහිමි සිරුර පුස්‌කා ගිය පැණි කැවුමක්‌ සේ තුවාල වී, විරූපී වී අප්‍රමාණ දුක්‌ වේදනාවන්ගෙන් පිරී ඉතිරී ගියේය. එසේ සිදු වූයේ ඒ තුළ වූ යහපත් රූප කලාප මොහොතකින් මරණයට පත් වී නොමනා රූප කලාප හටගත් නිසාය. සත්වයකුගේ ස්‌කන්ධ පංචකය තුළ පවතින ගිණිය නොහැකි තරම් වූ රූප කලාප මෙසේ මරණයට පත්වන්නට කර්ම විපාකාබාධ පැමිණෙන තෙක්‌ම ඉන්නට වුවමනා නැත. ඇත්තෙන්ම ඒ ක්‍ෂණික මරණය මොහොතින් මොහොත මොහොතින් මොහොත සෑම තත්ත්පරයකදීම සිදු වෙයි. කර්ම විපාක එළඹීමෙන් සිදුවන්නේ එය වෙනත් අතෙකට පෙරළීම හා එයින් නිපැයෙන මහා දුක්‌ වේදනා හැඩි දැඩිකරලීම පමණෙකි. මේ වූ කලී නිරෝගී යෑයි කල්පනාකරන්නහුගේ ජීවිතය හෙවත් ස්‌කන්ධයන් රෝගයෙන් නැත්නම් ව්‍යාධි දුඃඛයෙන් මරණයට පත්වන ආකාරයයි.
මේ භයංකර සාංසාරික ස්‌වභාවය නොතිර ජීවිතය හා නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට ඇදෙද්දී එය තවත් අනේක තත්ත්වයට ගොදුරු වෙමින් මරණයට පත් වේ. ඒ අනුව මෙලොව එළිය දකින ළදරුවාගේ ස්‌කන්ධයක්‌ ඒ කාලය තුළ මරණයට පත් වී වෙනත් ස්‌වභාවයක්‌ ඇති කරයි. ඉන් ඉක්‌බිතිව ඒ එක්‌ එක්‌ අවධීන් මරණයට පත් වී තවත් සංසාර ජීවන අවස්‌ථා ගණනාවක්‌ ජනිත කරන අතර අන්තිමට පත්වන ස්‌කන්ධමය තත්ත්වය පෙර පැවතියාටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ බවට පත්වේ.
මේ හා සමගම සත්ත්ව ස්‌කන්ධයන් තුළ පෙර පැවති මහත් වූ ශක්‌තීන් ජරා දුක නමැති වධකයා විසින් එක පැහැර මරා දමනු ලබයි. එවිට එතෙක්‌ හොඳින් පෙනුණු ඇසෙහි ඒ පෙනීම මිය ගොසිනි. කණෙහි තියුණු ඇසීම දුබල වී ගොසිනි. දෑත දෙපය වලංගු නැත. සම රැළි වැටිලාය. කෙස්‌ පැසිලාය. දත් වැටිලාය. නොයෙක්‌ වේදනාවන් විසින් මුළු ශරීරයම වෙලා ගනු ලැබ තිබේ. කාලය විසින් සිදුකරනු ලැබූ මේ සියල්ල එක්‌වර ඇසි පිය හෙළන පමණෙකින් සිදු වූ දේ නොවේ. අතිශය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පංච ස්‌කන්ධය තුළ වූ රූප කලාපයන් මොහොතින් මොහොත මොහොතින් මොහොත දිරා මරණයට පත්වීමෙන් සිදු වූ දේය. මෙලෙස ස්‌කන්ධ තුළ සිදුවන මරණ නැතහොත් විකෘතිමය රූප කලාප ඇතිවීම විශේෂයෙන් සත්වයිනට දරාගත නොහැකි දුකක්‌, ශෝකයක්‌ උරුමකර දෙයි. මේ හෙයින්ම මොහොතින් මොහොත ඔවුන්ගේ මානසික සොම්නසද මිය යන්නේය.
පස්‌දෙනෙකුන් වූ ස්‌කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හෙවත් නිර්වාණය වෙත පමුණුවන සම්‍යක්‌ කල්පනය නැති බොහෝ අය මේ සොම්නස මරණයට පත් කර ගන්නා අනෙක්‌ අයුරක්‌ ද තිබේ. ඒ එක්‌ එක්‌ ස්‌කන්ධයන් තුළ පවත්නා තමනට ප්‍රිය මනාප රූප කලාප සදාතනික යෑයි සිතා ගන්නා ඔවුන් ඒවා අයත් කර ගැනීමට යාම තුළිනි. එබඳු භික්‌ෂුවක්‌ තථාගත සම්මා සම්බුදුරාජණන් වහන්සේ ධරමාන කාලයේද වැඩ වාසය කළේය. ඔහු සිරිමා නමැති රූමත් ගණිකාවට කාමච්ඡන්දයෙන් තදින් බැඳී සිටියේය. එය කෙතරම් බලවත් වී ද යත් හෙතෙම දන් වැලඳීම පවා අතහැර දමා සිටියේය. හේ යාන්තම් සෝවාන් ඵලයට පත්ව සංසාර දුකින් ගොඩවෙන මඟට පැමිණියේ ඒ අමා මෑණියන් වහන්සේ සදෙසා වදාළා වූ නිවන් දහමෙහි අසිරිමත් බව දැකීමෙනි.
මේ ආදී වශයෙන් බලන කල සත්වයාගේ සංසාර ජීවිතය හා සම්බන්ධ වු පංචස්‌කන්ධයම ඔවුන්ගේ මාරයා බව අපැහැදිලි නොවේ. එනම් යමෙකු මේ පංචස්‌කන්ධය ලැබුවහොත් ඔහුගේ ජීවිතය තුළ අනන්ත මරණ සිදුවන්නට බාහිරින් මාරයෙකු හෝ උපක්‍රමයක්‌ අවශ්‍ය නැත. එයම එවැන්නාට අප්‍රමාණ මරණය ගෙනෙන්නේය. රූපං කෝ රාධ මාරෝ වේදනා, මාරෝ සඤ්ඤා, මාරෝ සංඛාරා, මාරෝ විඤ්ඤාණං මාරෝ යනුවෙන් දේශනා කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සත්වයාගේ ස්‌කන්ධ පහ එකම මරණයක්‌ ලෙස දක්‌වා වදාළේ එහෙයිනි.
සාමාන්‍යයෙන් මාරයා ලෙස හඳුන්වන්නේ ජීවිතය නසා වනසා අවසන්කර දමන්නාය. මෙබඳු මාරයෝ ලෝකය තුළ අද ද අප්‍රමාණ සිටිති. විශේෂත්වයක්‌ වන්නේ ඔවුන් අතින් සත්වයිනට එක්‌වරක්‌ පමණක්‌ මිය යන්නට සිදු වීමයි. එසේ වූවත් පංච ස්‌කන්ධය නමැති රුදුරු මරුවාගෙන් සත්වයාට මරණීය විපත උරුම වන්නේ එක්‌ වරක්‌ නම් නොවේ. අනවරාග්‍ර වූ සංසාරය තුළ අනන්ත මරණ ගණනකට මේ ස්‌කන්ධ පංචකය නමැති මාරයා නිසා සත්ත්වයිනට ගොදුරු වෙන්නට සිදුවේ. එහෙයින් අතීත සංසාරය දෙස ඔබට හැරී බැලිය හැකි නම් ඔබ කොතෙක්‌ මරණ සංඛ්‍යාවකට ගොදුරු වී දැයි ඔබට පෙනෙනු ඇත. එසේ පෙනුණහොත් ඒ මරණ හැම එකක්‌ම සුවදායක ලෙස සිදු නොවූ බවද ඔබට වැටහී යනු ඇත්තේය. එනම් ඒ අතර වූ ඇතැම් මරණ සොර සතුරන් පහර දීමෙන් සිදු වූ මරණයි. ඇතැම් ඒවා ගිනි ගැනීම්වලින් සිදු වූ මරණයි. තවත් සමහර මරණ දියේ ගිලීමෙන්, නපුරු සතුන් දෂ්ට කිරීමෙන් සිදු වී තිබේ. එමෙන්ම අකුණු වැදීමෙන් ද්වේෂයන්, ශෝකයන් දරාගත නොහැකිව වස විෂ බීමෙන්, දරුණු රෝගවලින් රාජ දඬුවම්වලින් ඔබ ගත කළ අති දීර්ඝ සංසාරයේ අනේකප්‍රකාර මරණ සංඛ්‍යාවක්‌ හිමි වී තිබේ.
මෙලෙස සිදුවන සම්මුති මරණය එක්‌ පසෙකින් සත්වගට හිමිකර දෙන්නේ දුක්‌ ටිකකි. එතෙකුදු වුවත් අටලෝ දහම වැනි ලෝක ධර්මතාවන්ගේ පෙරළි නිසා ඔවුනට ඊට වඩා සුවහසක්‌ දුක්‌ තැවුල්වලට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව බොහෝ ධන සම්පත් කෙරෙන් ශෝභමාන වී සිටින අය හිටි අඩියේ අන්ත දුප්පත් කම්, දිළිඳු කම්වලට ඇද වැටෙති. පටාචාරාවන්ගේ කතාව මහ ධන සිටු පුත්හු ගේ කථාව මෙයට නිදසුන් කතා කිහිපයකි. මෙයින් සත්වයින් විඤ්ඤානය තුළින් මිය යන්නේ සහස්‌ සුවහස්‌වරය. රූප කලාපයන් මෙන්ම මේ වූ නාමයන්ද මොහොතකුදු ඉතිරි වී නොතිබේ. ක්‍ෂණයකින් බිඳ වැටී මරණය වැලඳ ගනී. අතීතයේ ඇති වූ ඒ සියල්ලම ඒ අනුව එහිදීම නිරුද්ධ වී වර්තමානයට නොපැමිණියේය.
ඇත්තෙන්ම සාංසාරික සත්වයාගේ පස්‌ දෙනෙකුන් වූ ස්‌කන්ධයන්ගේ සිදු වන මේ නිමාවක්‌ නැති මරණ සියල්ල නිසා ඔවුන්ගේ පස්‌කඳ එකම දුක්‌ පිඩක්‌ වී තිබෙන්නේ කුමක්‌ නිසාද? නෛෂක්‍රම්‍ය සංඛ්‍යාත විදර්ශනා කුසලයෙන් ඔවුන්ට සංසාරයෙන් එතෙරට (නිවනට) නික්‌ම යාගත නොහැකි නිසාය. ස්‌කන්ධ පංචකය සුබය. සුඛදායකය යනාදී වශයෙන් කල්පනා කිරීම ඔස්‌සේ ඔවුන් නීවරණයන් මඟින් පැරද වීම තුළ මෙසේ ඔවුහු තව තවත් සංසාරයේ දුර ඈතටම ගමන් කරති. සදාතනික වූ මේ මාර පාසයෙන් මිදී ජාතියක්‌, ජරාවක්‌, ව්‍යාධියක්‌, මරණයක්‌ නැති අමා නිවන වෙත ඔවුනට පිවිස ගත හැක්‌කේ කවර ධර්ම ප්‍රතිපදාවක්‌ පූරණය කිරීමෙන්ද? සංසාරයෙහි කෙළවරක්‌ නැති දුක්‌ දොම්නස්‌වලට හේතු වන සකර දම් තතු (සංස්‌කාර/ හේතු නිසා හට ගත් ලෝකයට අයත් සියල්ල ) ගැන නුවණින් මෙහිදී මෙනෙහි කළ යුතුය. 
එනම් සංස්‌කාරයෝ හට ගනිති. ක්‍ෂණයක්‌ ක්‍ෂණයක්‌ පාසා දිරීමට ලක්‌ වෙති. ඉන් ඉක්‌බිතිව ඔවුහු අවසානයේ මරණය වැළඳ ගනිති. එහෙයින් ඒවායේ තණ්‌හාවෙන් දැඩිව අල්වා ගත යුත්තක්‌ නැත්තේමය. මෙසේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානයට ලංවන්නහුගේ චක්‌ෂුද්වාරයෙන් ගලන අපවිත්‍ර කෙලෙස්‌ නවතින්නේය. සෝතද්වාරයෙන් ගලන කෙලෙස්‌ නවතින්නේය. ඝානද්වාරයෙන් ගලා හැලෙන කෙලෙස්‌ නවතින්නේය. ජිවිහාද්වාරයෙන් මෙන්ම කායද්වාරය හා මනෝද්වාරයෙන් ගලන කෙලෙස්‌ ද නවතින්නේය. ලෝකෝත්තර මාර්ගඥානයෙන් මෙසේ කෙලෙස්‌ තවන්නහුට ඒ අමා නිවන් දුර නොවේ.
සුගත් වීරසූරියDivaina

No comments:

Post a Comment