Wednesday, March 5, 2014

මෙලොව සැපත නැතිව පරලොව සැපතක් කොහිද?



ලෝකය තුළ හෝ ලෝකයෙන් පරිබාහිරව යම් ජීවී කොට්ඨාශයක් පහළ වන්නේ නම් ඒ සියල්ලෝම  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන කුල සතරින්  එකකට අනිවාර්යයෙන් අයත්වේ. එකී කුලයන්හි ජලාබුජ හෙවත් මවු කුසින්   බිහිවන ජීවීන් අතරින් උසස් දියුණු කරගත හැකි මනසකින්  යන අදහසින් අනුවර්තනය කරන මනුෂ්‍ය වූ සත්ව කොට්ඨාශයෙහි  ඔබ අප  ඉපිද ඇත. මේ ඉපදීම ඔබට සහ මට කැමති අයුරින් සිදු වූවක්ද? නොඑසේ නම් වෙනත් කවුරුන්ට හෝ රිසියෙන් ඇති කරන ලද්දක්ද?
මෙම ඉපදීම අපට රිසි පරිද්දෙන් සිදුවිනි නම් අපගෙ අත් පා හැඩය සමේ වර්ණය මීට වඩා වෙනස් ආකාරයකට හැඩ ගැසී පැවතිය යුතුය. නමුත් ඒ සියල්ල අපට රිසි වන ආකාරයට දැන් සෑදී තිබේද?
අප සියලු දෙනා සිතා සිටින්නේ අප පරිහරණය කරන මෙම කය තමා කියාය. මේ කය තමා  නම් මේ කයෙහි අභ්‍යන්තරයේ පවතින ස්වභාවය හැඩතලයවත් අවම වශයෙන්  අප දැන ගත යුතුය.  නමුත් ශරීරයෙහි අභ්‍යන්තරයේ පවතින කිසිදු   අවයවයක ස්වභාවයක් ඔබ දැක හෝ නැති විය හැකිය. එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද? උදාහරණයක් ලෙස ගතහොත්  ඔබට කුලියට  දුන් රථවාහනයක් ගැන සිතන්න. එය පදවාගෙන යනු ලබන ඔබට වැටහෙනුයේ එම රථය තමාගේය යන හැඟීමය. නමුත් කුලියට ගත් අදාළ කාලසීමාව අවසන් වීමත්  සමගම  ඔබ කැමති වුවත් අකමැති වුවත් එම  රථය ආපසු  භාර දිය යුතුව ඇත.
අප ගෙවන මේ මනුෂ්‍ය  ජීවිතයද එබඳුය. මෙය අප විසින් පෙර ජීවිතයන්හිදී කරන ලද කර්මයන්හි විපාකයකි. එම විපාකය අපට අවශ්‍ය ආකාරයට සකස් කරගැනීමට නොහැකිය. අපට සකස් කර වෙනස් කර ගත හැකි වනුයේ කර්මයයි.

උදාහරණයක් ලෙස ගතහොත් හොඳ සාරවත් බිමක වී සිටුවුවහොත්  ලැබෙන ඵලය වී මය. මුං සිටි වුවහොත් ලැබෙන ඵලය මුංය. තල වැපිරුවහොත් ලැබෙන ඵලය තලය. කෙදිනකවත් අපට වී වපුරා මුං බලා‍පොරොත්තු විය නොහැක. තල  වපුරා වී බලා‍පොරොත්තු විය නොහැක. එලෙසින්ම ලැබි තිබෙන විපාකජ කයක් වූ මේ කය පරිහරණය කරන අතරතුරදී එතුළින් රැස් කරගන්නා වූ කර්මයට අදාලව මතු අනිවාර්ය විපාකද ලැබේ.
ඔබට මේ ජීවිතයේදී සුගතිගාමී  උප්පත්තියක් ලැබි නිරෝගීමත් කයක් පරිහරණය කරන්නට ලැබි ඇත්තේ පෙර ජීවිතයේදී සිදු කළ සුදු කර්මයන් හේතුවෙනි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්   මෙලොව  එළිය දකින්නා වූ  පිරිස කොටස් හතරකට  බෙදා වෙන් කර ඇත. ඒ කෙසේද යත් සුදු උප්පත්තියක් ලබා කළු උප්පත්තියක්  කරා යන පිරිස, කළු උප්පත්තියක් ලබා සුදු  උප්පත්තියක් කරා යන පිරිස, සුදු උප්පත්තියක් ලබා අවර්ණ    උප්පත්තියක් කරා යන පිරිස, කළු උප්පත්තියක ලබා අවර්ණ  උප්පත්තියක් කරා  යන පිරිස වශයෙනි. මෙම කරුණ  විස්තර කළහොත් යම් පුද්ගලයෙක් හොඳ සුගති සම්පන්න සැපවත්  මනුෂ්‍ය  ජීවිතයක නිරෝගී සම්පන්න  කයක් සහිතව ඉපිද එය පරිහරණය කරමින් අකුසල ධර්මයන් සහ පව් කර්ම රැස් කර  ගැනීම  හේතුවෙන් දුගති සම්පන්න උප්පත්තියක් කරා යාම සුදු උප්පත්තියක් ලබා කළු උප්පත්තියක් කරා යාම ලෙස හැඳින්වේ. මෙලොව තවත් පුද්ගලයෙකු දුගී පවුලක උප්පත්තිය ලබා එම  උප්පත්තිය තුළදී කුසල ධර්මයන්  වඩා පින් රැස් කර මරණින් මතු සුගති උප්පත්තියක් කරා එළැඹීම කළු උප්පත්තියක් ලබා සුදු  උප්පත්තියක් කරා යාමකි.  මෙලොව  පහළ වුනු තවත් පුද්ගලයෙකු  සුගති සම්පන්න සැප පහසු  ජීවිතයක්  ලැබ එම ජීවිතයේදී අජරාමර තත්ත්වයට පත් විය හැකි සත්ධර්ම ශ්‍රවණය කිරීමට ලැබිමෙන් කුසලය වඩවා කර්මය  ක්ෂය වන තත්ත්වයකට පත් වීම සුදු උප්පත්තියක් ලබා සුදුත් නැති කළුත් නැති අවර්ණ  උප්පත්තියක් කරා යාමකි. මෙලොව ජනිත වන්නා වූ  තවත් පුද්ගලයෙකු සැපයෙන් අඩු මනුෂ්‍ය  ජීවිතයක් ලැබ පෙර පරිද්දෙන්ම ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබිමෙන්  කර්මය ක්ෂය  කරගන්නාවූ මාර්ගයට පිළිපන්න වීම කළු උප්පත්තියක් ලබා සුදුත්  නැති කළුත් නැති අවර්ණ  උප්පත්තියක් කරා යාමකි.
සුගති සම්පන්න ජීවිතයක් ලද අප සියලු දෙනා හට නොපෙනෙන එහෙත් සත්‍ය වූ කරුණක් ඇත. හැල්මේ  දිව යන මෙම ජීවිතය කුඩා කාලයේ සිටම නොනවතින තරගයකට අවතීර්ණ වීමෙන් පසු එම තරගයෙන් නික්මෙනුයේ  තමන්ටත් නොදන්වා මරණයෙනි. ඒ අතර කාල පරාසය තුළ අප සිදු කර ඇත්තේ කුමක්ද?
ඔබ නොදන්නවා වුවද සිදුකර ඇත්තේ සැප අපේක්ෂාවෙන් සතුට ලැබිය හැකිය යන අපේක්ෂාවෙන් යුතුව එම අනාගත සැප සතුට දෙස බලමින් එකී  ලොල්භාවය පෙරටු කොට ගෙන වර්තමානයෙහි අනන්ත දුක් විඳීමය. එසේ නම් පුද්ගලයෙකු මුළු ජීවිත කාලය තුළදීම සිදුකර ඇත්තේ සැප අපේක්ෂාවක වාසය කිරීම පමණකි.  මෙම ක්‍රියාවලිය  ඈත පෙනෙන මිරිඟුව දෙස බලාගෙන ජලය යැයි සංඥාව උපදවා ගෙන එදෙසට දිවීමක් වැනිය. අවසානයේදී අප හට සිදුවන්නේ ජලය සොයා ගිය විඩාව පමණක් ඉතුරුව ජලය නොලබාම  ජීවිතයෙන් සමුගැනීමටය.
මෙය ප්‍රායෝගිකව විස්තර කළහොත් දිනපතා රැකියාවට යන පුද්ගලයෙකුගේ මූලික අපේක්ෂාව වනුයේ නිවසක්  තනාගෙන එහි සතුටින් වාසය කිරීම යැයි සිතමු. එම සැප අපේක්ෂාව සඳහා ඔහු බැංකු ණයක් ගත්තායැයි සිතන්න. දැන් ඔහු ඒකාන්ත වශයෙන්ම මුදල්  උපයා  මේ ගත් ණය පියවිය යුතුව ඇත. තම සැප අපේක්ෂාවෙන් තනාගත් නිවස තුළ රැදෙන කාල සීමාවත් රැකියාව සඳහා යොදවන කාල සීමාවත් ගතහොත් ඒ අතර අනුපාතය සාධාරණද? නිවසක් තනා ගැනීමෙන් පසු ඔහු තුළ තිබෙන මීළඟ සැප අපේක්ෂාව තමාටම කියා වාහනයක් මිලදී ගැනීමය. එවිට සිදුවන්නේද පෙර සඳහන් කළ දෙයම නොවේද?
අප මෙතනදී මතු කරනුයේ සැප අපේක්ෂාවෙන්  සිදු කරගෙන යන මෙම දුක්විඳීම වෙනුවට, ඔහු විසින් අනාගතයට තල්ලු කර අත්හැර දමා තිබුණු සැපවිඳීම වෙනුවට පවතින වර්තමානයේදීම සැප විඳීම  ආරම්භ කළහොත් ගවෛන  තත්ත්පරයක් තත්ත්පරයක් පාසාත් අතීතයට එක් වන  කාලය තුළද ඔහු සැප විඳ ඇති බැවින්  සමස්තයක් ලෙස ගත් කල ඔහු සුවයෙන්  වාසය කරන ලද්දෙකු බව කිව හැකිවේ. වර්තමානයේ සුවයෙන් සිටින පුද්ගලයා හට අනාගතයේදීද සැපවත් ව සිටිය හැකි යැයි යන අපේක්ෂාව ඇති කරගත හැකිය. ඒ මක් නිසාද  යත්   ඔහු හට පවතින වර්තමානය තුළදීම ජලය ලැබි ඇති බැවිනි.
පවතින වර්තමානය තුළදීම සුවසේ වාසය කිරීම ඇරඹීම සඳහා තමා ලද දෙයින් සතුටු වීම මූලිකවම රුකුල් දෙන කරුණකි. සුලු හෝ වශයෙන් තම සිත තුළ මෙත් සිතක් පවත්වාගෙන යාමද සුවසේ සිටීම ආරම්භ කළ හැකි ක්‍රමයකි. සරලවම ගත හොත් සුවපත් වේවාය යන සිතුවිල්ල නිරන්තරයනේ ඔබ සිහි කරන්නේ නම් සිත තුළ  අප්‍රමාණ වූ සතුටක් සැනසීමක් ඔබට විඳගනු හැකිවනු ඇති. ඕනෑම ස්ථානයක සතුටින්    වාසය කිරීමටත්  පිරිස් සමග සුහදශීලීව ගත කිරීමටත් හැකිවේ. ඔහුට සතුරන් ඇති නොවේ. සතුරුව සිටින පිරිස් සමගද මිතුරු වීමෙන් ඔවුනට  සතුරුකම්  කිරීමට සතුරකු ඇති නොවේ. කුමක් නිසාද යත් දැන් ඔවුනට සතුරු  කම් කිරීමට සිටින්නේද  මිතුරෙකි. සතුරෙකුගේ සතුරු කම් රඳා පවතින්නේ තමාද ඔහු හට සතුරු  වුවහොත්   පමණි. ඔහු හා සමග මිතුරු   වුවහොත්  එය වියළිකෝටුවක් සහ තෙත කෝටුවක් එකට ඝටා ගින්දරක් බලා‍පොරොත්තු වූවා වැනිය.
මෙහිදී ලැබෙන අනාගත ප්‍රතිඵලය වනුයේ මරණින් මතු සුගතිගාමී වීමට හැකි වීමයි.  එනම් තමා මේ මොහොතේ  පටන් සතුටින් සිටීම අරභයා නුදුරු අනාගතයද සුගතිගාමී කරගත හැකිවීමයි. මෙය මෙලොව  සැපතක් උදා කරගෙන  පරලොවද සැපතක් කරාගෙන යා හැකි මාවතක් විවර කර ගැනීමකි. 
කෙනෙකු මිය යන විට අවසාන වශයෙන් තම  සිත තුළ පවතින ස්වභාවය මත පරලොව තීරණය වීමට බොහෝ  දුරට ඉඩකඩ ඇත. නමුත් ඒ අවස්ථාව වන විට තම සිත තුළ ජනිත වනුයේ  තමා බොහෝ  දුරට ප්‍රඟුන කළ සිද්ධාන්තයි.කෙනෙකු මරණාසන්න මොහොතේදී  සිත හදා ගැනීමට  සිටිනවා   නම් එය වතුර පිපාසාවක් පැමිණි  විටකදී ළිඳක් තැනීමට ආරම්භ කිරීමක් බඳුය. ඔබ දැන්ම ළිඳ කපා ගෙන සිටියහොත්   පිපාසය පැමිණි සැණින් ජලය පානය කිරීමට හැකි නොවන්නේද? ඔබ සැම මේ බැව් සිහියේ තබාගෙන මේ මොහොතේ පටන් සතුටින් වාසය කිරීම අරඹත්වා. ඒ හේතුවෙන් සියල්ලෝ  පරලොව සැපවත් කරගනිත්වා
අලුත්නුවර සේනානි වන සෙනසුනේ මංගලතිරියේ සන්තින්ද්‍රිය හිමි

No comments:

Post a Comment