Wednesday, March 5, 2014

මෙලොව සැපත නැතිව පරලොව සැපතක් කොහිද?



ලෝකය තුළ හෝ ලෝකයෙන් පරිබාහිරව යම් ජීවී කොට්ඨාශයක් පහළ වන්නේ නම් ඒ සියල්ලෝම  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන කුල සතරින්  එකකට අනිවාර්යයෙන් අයත්වේ. එකී කුලයන්හි ජලාබුජ හෙවත් මවු කුසින්   බිහිවන ජීවීන් අතරින් උසස් දියුණු කරගත හැකි මනසකින්  යන අදහසින් අනුවර්තනය කරන මනුෂ්‍ය වූ සත්ව කොට්ඨාශයෙහි  ඔබ අප  ඉපිද ඇත. මේ ඉපදීම ඔබට සහ මට කැමති අයුරින් සිදු වූවක්ද? නොඑසේ නම් වෙනත් කවුරුන්ට හෝ රිසියෙන් ඇති කරන ලද්දක්ද?
මෙම ඉපදීම අපට රිසි පරිද්දෙන් සිදුවිනි නම් අපගෙ අත් පා හැඩය සමේ වර්ණය මීට වඩා වෙනස් ආකාරයකට හැඩ ගැසී පැවතිය යුතුය. නමුත් ඒ සියල්ල අපට රිසි වන ආකාරයට දැන් සෑදී තිබේද?
අප සියලු දෙනා සිතා සිටින්නේ අප පරිහරණය කරන මෙම කය තමා කියාය. මේ කය තමා  නම් මේ කයෙහි අභ්‍යන්තරයේ පවතින ස්වභාවය හැඩතලයවත් අවම වශයෙන්  අප දැන ගත යුතුය.  නමුත් ශරීරයෙහි අභ්‍යන්තරයේ පවතින කිසිදු   අවයවයක ස්වභාවයක් ඔබ දැක හෝ නැති විය හැකිය. එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද? උදාහරණයක් ලෙස ගතහොත්  ඔබට කුලියට  දුන් රථවාහනයක් ගැන සිතන්න. එය පදවාගෙන යනු ලබන ඔබට වැටහෙනුයේ එම රථය තමාගේය යන හැඟීමය. නමුත් කුලියට ගත් අදාළ කාලසීමාව අවසන් වීමත්  සමගම  ඔබ කැමති වුවත් අකමැති වුවත් එම  රථය ආපසු  භාර දිය යුතුව ඇත.
අප ගෙවන මේ මනුෂ්‍ය  ජීවිතයද එබඳුය. මෙය අප විසින් පෙර ජීවිතයන්හිදී කරන ලද කර්මයන්හි විපාකයකි. එම විපාකය අපට අවශ්‍ය ආකාරයට සකස් කරගැනීමට නොහැකිය. අපට සකස් කර වෙනස් කර ගත හැකි වනුයේ කර්මයයි.